රුපියල් කෝටි 325 කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වෙනි දින පුද්ගලයන් හය දෙනකු සමග දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉඳුනිල් පුතා නමැති බහුදින යාත්‍රාවයි.
නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් සමග එක්ව ඈත මුහුදේදී ඉකුත් 11 වැනිදා යාත්‍රාව අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂා කළත් යාත්‍රාව තුළ තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත.
පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ස්කෑන් පරීක්ෂණයක් කර ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ යාත්‍රාවේ බදේ ෆයිබර් තහඩු තුළ සැක කටයුතු පාර්සල් තොගයක් සඟවා තිබෙන බවයි..
ඒ අනුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව යාත්‍රාවේ ඉදිරිපස බඳ කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය පිටතට ගෙන ඇත .
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදෙස් යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවත් යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහාම බවත් ය.
මෙම යාත්‍රාවේ හිමිකරු දෙවිනුවර වෙලේගොඩ ගුණපාල මාවත පදිංචිකරුවෙකි. එය පදවන්නා ලෙස කටයුතු කර ඇත්තේ දෙවිනුවර කපුගම නැගෙනහිර පදිංචි පුද්ගලයකු වන අතර ධීවරයින් ලෙස ගොස් ඇත්තේද දෙවිනුවර කපුගම නැගෙනහිර සහ රස්සන්දෙණිය ප්‍රදේශවල පදිංචි පස්දෙනෙකි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
