අස්වැසුම සුබ සාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි .
මේ වන විට අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවත් තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පළමු වටයේ ලැබුණු අභියාචනා සහ විරෝධතා 1,227,000න් 212,000ක් පමණ එකම පාර්ශ්වය විසින් කිහිප වරක් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කළ අවස්ථා වන අතර ඒ අනුව සැබෑ විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය 966,000 ක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව ඉන් විරෝධතා සහ අභියාචනා 749,000ක් පමණ සලකා බලා අවසන් අතර තවත් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සලකා බැලීමට නියමිත ය.
මෙම විරෝධතා සහ අභියාචනා හේතුවෙන් මේ වන විට 10,000ක පමණ පිරිසක් අස්වැසුම සඳහා නුසුදුස්සන් බවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අතරින් මේ වන විටත් ප්රතිලාභ ලබා ඇති පිරිසගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට අදාළ නීතිමය පියවර ගැනීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
