මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව අදාළ සමාව බලරහිත කරන බවත් නියෝග කර තිබුණි.
ඒ අනුව මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙන්නේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබූ බව සඳහන් වන අතර එම විත්තිකරුගේ බැංකු ගිණුම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ .
අදාළ පෙත්සම යළි මාර්තු මස 12 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියම කළේය.
