ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති අතර, ජනතා අපේක්ෂාවන් බිඳ දමා ඇති බව සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික මහේෂ් සේනානායක සදහන් කරයි .
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
මැතිවරණ සමයේ සාමාන්‍ය ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ ආණ්ඩුව, අද වන විට එම ජනතාවටම බදු බර පටවා ජීවන වියදම තවදුරටත් ඉහළ නංවමින් සිටින බවයි.
ගොවීන්ගේ තත්ත්වය ඉතා දුෂ්කර බව පෙන්වා දුන් ඔහු, බොහෝ ප්‍රදේශවල වී සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සඳහන් කලා.
එහෙත් විශාල මෝල් හිමියන් සහ බලවත් ව්‍යාපාරිකයන් තවදුරටත් ලාභ ලබමින් සිටින බව පෙනී යන බවත්, ගොවියාගේ සැබෑ ගැටලු අවබෝධ කර ගැනීමට නම් කොළඹ සිට ප්‍රකාශ නිකුත් කිරීම නොව, ගම්මාන වෙත ගොස් යථාර්ථය දැකිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියා
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය ජනතාවට අසාධාරණ බරක් වී ඇති බවද ඔහු පැවසීය. වැට් බද්ද ඇතුළු පරිභෝජන බදු ඉහළ දැමීමෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ සුළු හා මධ්‍යම ආදායම් ලබන ජනතාවට බවත්, ජීවන වියදම ඉහළ යන අතර ජනතාවගේ ආදායම ඒ අනුව ඉහළ නොයන තත්ත්වයක් තුළ මෙම ප්‍රතිපත්ති තවත් පීඩනයක් ඇති කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
තෙල් මිල ඉහළ නැංවමින් අඩු තෙල් වාසිය ජනතාවට ලබා නොදී ජනතාවට තවත් බරක් පටවා ඇති බවද ඔහු ප්‍රකාශ කලා.
තෙල් මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු, ආහාර මිල සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, එහි අවසාන බර දරන්නට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඔහු අවධාරණය කර සිටියා.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි නම් ආණ්ඩුව ජනතාව ඉදිරියට ගොස් නැවත ජනවරමක් ඉල්ලා සිටිය යුතු බවත් ප්රජාතන්ත්රවාදය යනු ජනතාවගේ කැමැත්තට ගරු කිරීම බවද ඔහු පවසා සිටිය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ, කවර පුද්ගලයකු වුවද නීතිය ඉදිරියේ සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට ලක් විය යුතු බවයි.
සැකකරුවන් වරදකරුවන් ලෙස නම් කළ යුත්තේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ පසුව පමණක් බවත්, සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ස්වාධීන හා විශ්වාසනීය විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කලා.
