රටට බත සපයන ගොවි ජනතාවට වත්මන් රජය දිගින් දිගටම පහර පිට පහර එල්ල කරමින්, “ගොවියා රජකරවනවා” යැයි ප්‍රකාශ කර බලයට පැමිණි ආණ්ඩුව අද ගොවියා විනාශ මුඛයට ඇද දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


කෘෂිකර්ම අමාත්‍යවරයා අද ඇතැම් පිරිස් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක් ඉල්ලා සිටීම ප්‍රශ්න කළද, පසුගිය මැතිවරණ සමයේ වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබා දෙන බවට කුඹුරට බැස ගොවි ජනතාව ඉදිරියේ පොරොන්දු වූයේ වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා බව ද ඔහු සඳහන් කළේය.


එසේම, කෘෂිකර්ම අමාත්‍යවරයා අද “ගොවියාට තනියම රජවෙන්න බැහැ” යැයි ප්‍රකාශ කළද, එදා විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ “ගොවියා රජකරවනවා” යන සටන් පාඨය යටතේ රට පුරා රැස්වීම් පවත්වා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ ඡන්දය ලබාගෙන බලයට පැමිණි බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ අද (01) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, අදක්ෂ, අකාර්යක්ෂම හා දුර්වල මෙම රජයට ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක පොහොර සහ පොහොර සහනාධාරය නිසි පරිදි ලබාදීමට නොහැකි වී ඇති බවයි.


තවද, ගොවි උපකරණවල මිල ඉහළ යාම, කෘමිනාශක හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම, ගුණාත්මක බීජ නොමැති වීම ඇතුළු ගැටලු හේතුවෙන් ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ද ඔහු පැවසීය.
අලි-මිනිස් ගැටුම ඇතුළු වන සතුන්ගෙන් සිදුවන හානි මධ්‍යයේ තම කනකර උගස් කර ගොවිතැන් කළ ද, අද ගොවිතැන සඳහා වැය වන වියදමට සරිලන ආදායමක් ලබාගැනීමට ගොවීන්ට නොහැකි වී ඇති බව ද ඔහු සඳහන් කළේය.


මෙතරම් දුෂ්කරතා රැසකට මුහුණ දෙන ගොවි ජනතාව රජකරවීමට මෙම රජයට හැකියාවක් නොමැති සේම, එවැනි වුවමනාවක් ද නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.


“ගොවියා රජකරවනවා” වෙනුවට, කුඹුරට බැස ගොවියා රවටා ඡන්දය ලබාගෙන ජනාධිපතිකම්, අගමැතිකම් සහ ඇමතිකම් ලබාගෙන රජ වූයේ මේ ආණ්ඩුව බවත්, මෙවැනි විනාශයක් ගොවි ජනතාවට සිදු කරන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවන බවත් ඔහු පැවසීය.


මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කරන විට කැමරා වසා දමන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.


විපක්ෂයේ සිටි සමයේ කැමරා සහ මාධ්‍යවේදීන් සොයා ගොස් ගොවියා ශක්තිමත් කරන බවට පොරොන්දු වූ පිරිස අද ගොවියා “කසිප්පුකාරයෙක්” සහ “කෘත්‍රිම ගොවියෙක්” ලෙස හඳුන්වන තත්ත්වයකට පත්ව ඇති බවත්, රජය ගමන් කරමින් සිටින්නේ වැරදි මාර්ගයක බවත් ඔහු ප්‍රකාශ කළේය.


ගොවි ජනතාවට අපහාස කරන තරමට රජයේ දේශපාලන ආත්මය විනාශ වන බවත්, මෙය ජනතාව ලබාදුන් විශ්වාසය කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.


එසේම, ගොවි ජනතාවට අපහාස නොකර ඔවුන්ට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත්, වී කිලෝවකට රුපියල් 150ක සහතික මිල නීතිගත කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.


තවද, සැබෑ අර්ථයෙන් ගොවියා රජකරවන යුගයක් බිහිකරන්නේ සමගි ජන බලවේගය බවත්, ගොවි ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබාදීමට තම පක්ෂය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page