ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ශ්‍රී ලංකාව දැනට අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය IMF නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කර තිබේ…..
එහිදී අග්‍රාමාත්‍යවරිය විසින්, පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කරන ලදි.
ඉදිරියටත් දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය ගෝලීය අවිනිශ්චිතතා හමුවේ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය ඉදිරි ගමන් මඟ සකස්කර ගත යුතු බව පෙන්වා දෙන ලදි.
එහිදී පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් IMF පිරිස අවධාරණය කළේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සදහන් කලේ..
වෙනස්වන ගෝලීය ප්‍රවණතාවන් හමුවේ බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රටේ බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.
වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය IMF නියෝජිතයන්ට පෙනවා දෙන ලදි.
සංවර්ධනය ළඟා කරගැනීමේ දී ආර්ථික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය යන දෙකම සමඟ ඉදිරියට යා යුතු බවත් එය ළඟා කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි ක්ෂේත්‍ර ඇතුළුව ශක්තිමත් පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවද අග්‍රාමත්‍යවරිය පෙන්වා දී තිබේ.
එසේම, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමට බාධාවක් වී ඇති මානව සම්පත් ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයි තවදුරටත් අවධාරණය කළාය.
