නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ තද සුළං තත්ත්වය තවදුටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (05 දා) පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි

මහනුවර සහ නුරවඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන කිහිපයකට ගිඟුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතෙත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැයට කිලෝ මීටර් 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින්විට රළුවේ. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද විටින්විට තරමක් රළුවේ. මේ නිසා එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි නිසා ධීවර හා නාවික කටයුතු සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු යැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ද පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් නායයෑම් හා පස් කඳු කඩාවැටීමේ අවධානමක් පවතින නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අම්බේගමුව, ප්‍රදේශයට නායයෑමේ අනතුරු නිවේදන නිකුත් කර ඇත.

මධ්‍යම කඳුකරයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ජලය මුදා හැරීමට කටයුතු කර ඇති නිසා පහළ ප්‍රදේශවල ජනතාව ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඊයේ (05 දා) දැනුම් දී තිබුණි.

මීට අමතරව නුවරඑළිය පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පවතින වර්ෂාවත් සමග මාර්ග මතට ගස් කඩා වැටීම් නිසා ජන ජීවිතයට බාධා එල්ලවී තිබූ බවට ද වාර්තා විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page