ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත ලබාදුන් වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් විය.
මෙම පෙත්සම විභාගයට ගනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසිනි.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය සඳහන් කළේ, සුනාමි ආපදා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලබාදුන් එම වාහනය, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ෆවුසි මහතා වසර පහකට ආසන්න කාලයක් පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවයි.
මෙම අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙන්වා දුන්නේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේදී ෆවුසි මහතා චෝදනාවලට වරද පිළිගෙන ඇති බවයි.
එසේ තිබියදී මෙම මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාමේ පදනම කුමක්දැයි අගවිනිසුරුවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරිය සඳහන් කළේ, වරද පිළිගෙන ඇත්තේ අපරාධ නීතිය යටතේ ගොනු කළ චෝදනාවලට පමණක් වන අතර, වත්මන් නඩුව මූලික අයිතිවාසිකම් හා මහජන සුබසාධන නඩුවක් බවයි.
ඇය තවදුරටත් පෙන්වා දුන්නේ, බදු ගෙවන්නන්ගේ මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම මහජන භාරය (Public Trust) උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජයට සිදු වූ පාඩුව අයකර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ගොනු කර ඇති බවය.
හිටපු අමාත්‍ය ෆවුසි මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු සඳහන් කළේ, අදාළ වාහනය අමාත්‍යාංශ ලේකම්වරියගේ නියෝගය අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිල භාවිතය සඳහා මුදාහැර තිබූ බවත්, අමාත්‍යාංශයේ වාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය රාජකාරි කටයුතු සඳහා පමණක් භාවිත කළ බවත්ය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලිඛිත දේශන ඇත්නම් අද සිට සති දෙකක් ඇතුළත ගොනු කරන ලෙස නියෝග කළ අතර, නඩුවේ තීන්දුව දිනයක් නොමැතිව කල් තැබීය.
