ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා අතර අද (29) නිල සාකච්ඡාව පැවැත්විය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තිකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගයමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරිමට ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතාගේ අවධානය යොමු කරවිය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් විය.
ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන්පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද සාකච්ඡා විය.
