ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ රට වසර එක හමාරකට පෙර පැවැති තත්ත්වයටත් වඩා බරපතල මට්ටමක් දක්වා ගමන් කළ හැකි බවයි. එබැවින් ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී වඩාත් වැදගත් වන්නේ දැනට ක්‍රියාක්මක වන වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යන කණ්ඩායමක් බලයට පත් වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.
.අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයීය විදුහලේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
සේමසිංහ මහතා එහි දී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වටය මගහැරීමෙන් ම විපක්ෂයේ බංකොලොත්භාවය ඔප්පු වන බවත් ජනප්‍රිය සිහින පෙන්වන වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමක් කෙරෙහි ජනතාව විශ්වාසය තබන්නේ නැති බවයි .
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට අර්බුදයකට පත් නොවන ආකාරයේ ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට කටයුතු කරන ආකාරයෙන් ම ඊට සරිලන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.
