ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවට ඊයේ (13දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත .

ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතිදැයි පෙත්සම්කාර පාර්ශ්වයට දැනගැනීමට අවශ්‍ය බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක් ඇතුළු සමාගම් 18ක් සම්බන්ධයෙන් 30 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කොට ඇති බවත්, එම සමාගම්වල විගණන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් ලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රසිද්ධ දේශනයකදී බොදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවල හඬ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා ජගත් ද සිල්වා යන විනිසුරු මඬුල්ලට පැවසීය.

ඉදිරි සති දෙක ඇතුළත රස පරීක්ෂක වාර්තාව ලැබීමට නියමිත බැවින් එය ලබාගැනීමෙන් පසුව වගඋත්තරකාර දේවගැතිවරයාට එරෙහිව අන්‍ය ආගම්වලට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කුමක්දැයි අධිකරණයට දැනුම් දෙන බව ද ඔහු සදහන් කර සිටියා .

රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව ඒ පිළිබඳ මෝසමක් මඟින් තම අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල විමර්ශනවල ප්‍රගතියත් ලබන මස 10 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසටත් නියෝග කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page