සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු තමා සහ තමාගේ දරුවන් දෙදෙනා පිළිබඳව සැක සහිත නිරීක්ෂණ කටයුතුවල නියැලෙන බව සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සිටින විශේෂිත පුද්ගලයෙකු තමාව සහ දරු දෙදෙනාව නිතර නිතර නිරීක්ෂණය කරන බවත් ඊයේ දින සිය 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ඔවුන්ගේ පියාගේ සුවදුක් විමසීමට ජාතික රෝහලට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා දරුවන් පසුපස ගොස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ළමයින්ගේ ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම සිදුකර ඇති බව ඇයගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මීට පෙරත් ජාතික රෝහල අසළ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසළ ඔහු ගැවසෙන අයුරු තමා දැක ඇති බවද ඇය සදහන් කරයි
අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගන්නා ලෙසත්, එවැනි ක්‍රියා සිදුකළේ කාගේ උපදෙස් යටතේද යන්න තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියෙන් ඉල්ලා සිටින අතර එවන් තත්ත්වයක් තුළ මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.
