පාර්ලිමේන්තුවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ අදහස විමසූ අවස්ථාවේදී සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ එම ඉල්ලීමට ආණ්ඩුව එකඟ නොවන බවත්, අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සභාවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට එකඟ බවත්ය.
එම ප්‍රතිචාරයට විරෝධය පළ කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාද විවාදයක් ඇති විය.
ඒ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා සභාවේ කටයුතු විනාඩි 10කට කල් තැබීමට පියවර ගත්තේය.
