වින්ච් යන්ත්‍රයක් මගින් මාදැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ඔවුන් ප්‍රකාශ කළේ මීට පෙර මෙම ස්ථානයේ දින නවයක් අඛණ්ඩ උපවාසයක නිරත වූ බවත්, එහිදී මාස දෙකක් ඇතුළත මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවත්ය. එහෙත් මේ වන විට මාස හතරක් ගතව තිබියදීත් එම වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ඔවුහු පැවසූහ.
එම තත්ත්වය හේතුවෙන් තමන්ට ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති අතර, තම සේවකයන්ගේ රැකියා මෙන්ම තම පවුල්වල ජීවනෝපායද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කළහ.
තවද, අදාළ වාර්තාව ලබාදෙන තුරු දින නවයක් නොව, අවශ්‍ය නම් දින දහඅටක් හෝ දින එකසිය පනහක් වුවද මෙම ස්ථානයේ රැඳී සිට තම ඉල්ලීම් දිනාගන්නා බවද ඔවුන් අවධාරණය කළහ.
අනතුරුව විරෝධතාකරුවන් හය දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා කැඳවාගෙන ගිය අතර, මේ වන විටත් විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙමින් පවතී.
