ප්‍රකාශන ක්ෂේත්‍රයට පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) වහාම ඉවත් කර, දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය රජය විසින් සකස් කළ යුතු බව විපක්ෂ නනායකවරයා අද (23) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ පොත් ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ

, පොත් සඳහා වැට් බද්ද පැනවීම සහ වැට් සීමා පද්ධතිය හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.

දැනට පවතින පොත් තොග මත පවා වැට් බද්ද පැනවීම නිසා ප්‍රකාශකයන්ට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ප්‍රකාශන කර්මාන්තය, දැනුම නිර්මාණය කිරීම සහ කියවීමේ සංස්කෘතිය දැඩි බලපෑමකට ලක්ව ඇති බවද ඔහු පැවසීය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ප්‍රකාශන ක්ෂේත්‍රයේ අනාගතයට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපාන බවත්, දේශීය සාහිත්‍ය, සංස්කෘතික උරුමය, තරුණ ලේඛකයන් සහ පර්යේෂකයන්ගේ කටයුතුද මෙයින් අඩාල වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉල්ලුම හා සැපයුම් දාමය තුළ ගැටලු රැසක් මතුව ඇති බවත්, කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍ය මත අය කරන බදු රටේ සාක්ෂරතාව සහ අධ්‍යාපනය වර්ධනය කිරීමට හිතකර නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කියවීම පහත වැටීම වැළැක්වීම වෙනුවට සාක්ෂරතාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

නීතිවිරෝධී පොත් පිටපත් කිරීමද බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, වැට් බදු ඉවත් කිරීම, වැට් සීමා සංශෝධනය කිරීම සහ බදු සහන ලබාදීම මගින් මෙම ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු සඳහා රජය කඩිනමින් මැදිහත් විය යුතු බව පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී දැනුම කේන්ද්‍රීය රටක් ගොඩනැගීම සහ පොත් සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද ඉවත් කරන බවට ප්‍රකාශ කළද, එම පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බවත්, එම ප්‍රතිපත්ති දැන්වත් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ලෝකයේ දැනුම කේන්ද්‍රීය රටවල් රැසක් ප්‍රකාශන ක්ෂේත්‍රයට බදු සහන ලබාදෙන බව පෙන්වා දුන් ඔහු, එක්සත් රාජධානිය, නේපාලය සහ බංග්ලාදේශය වැනි රටවල පොත් සඳහා වැට් බද්දක් නොමැති බවද කියා සිටියේය.

එමෙන්ම ප්‍රකාශන ක්ෂේත්‍රයට වෙන්වූ නිසි රාජ්‍ය ආයතනික වගකීමක් නොමැති වීමද තවත් ගැටලුවක් බව ඔහු පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page