ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අලුත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සියලුම ආනයනික භාණ්ඩවල හිඟයක් මෙන්ම මිල විශාල ලෙස ඉහළ යෑමේ අවදානමක් මතුවී තිබෙන බව භාණ්ඩ ආනයනය කරන්නන්ගේ සංගම් සදහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රේගු අංගණවල සිරවී තිබෙන ආනයනික භාණ්ඩවලට ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වුණොත් එම ගාස්තුත් භාණ්ඩවල මිලට අනිවාර්යයෙන්ම එකුතු කිරීමට සිදුවන බවට භාණ්ඩ ආනයන කරන්නන් පවසයි
තවදුරටත් මෙලෙස සිදුවුවහොත් අනිවාර්යයෙන්ම ආනයනික සියලුම භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති බව ද පෙන්වා දෙන ආනයනකරුවන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ සහිත කන්ටේනර් බහාලුම් 4,000 කට අධික ප්‍රමාණයක් රේගු අංගණවල සිරවී ඇති බවද සදහන් කරයි
මෙ වන විට රේගුවට අයත් SAGT අංගණයේ බහාලුම් 750 ක්ද CICT අංගණයේ බහාලුම් 3000 ක්ද JCT සහ ECT අංගණවල තවත් බහාලුම් විශාල ප්‍රමාණයක් ද සිරවී තිබේ .
වැටලීම්වලදී රේගු නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග මුදල් අරමුදල මුදල් අමාත්‍යාංශයට පවරාගෙන, එය මහ භාණ්ඩාගාරයට ලබාදීමට ගන්නා සැලසුමට විරෝධය පළ කරමින් රේගු වෘත්තීය සමිති අතිකාල සේවයෙන් ඉවත් වී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇති වි ඇත.
රේගු වැටලීම්වලදී නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග මුදල් අරමුදල මෙතෙක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ තිබුණි.
මෙම අරමුදලේ රුපියල් කෝටි 60 කට අධික මුදලක් ඇති අතර එම අරමුදල් හරහා රේගු වැටලීම්වලදී ත්‍යාග මුදල් ලබාදීමට අමතරව වැඩමුළුවලට මුදල් යෙදවීම රේගු නිලධාරීන්ගේ සුබසාධන කටයුතු ඇතුළු තවත් කටයුතු රැසකට මුදල් ලබාදෙයි
මෙම අරමුදල මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නාතුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව රේගු වෘත්තීය සමිති පවසයි.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියේදී වැඩවර්ජනයක් දක්වා දුරදිග යෑමට සිදුවූවොත් රට තුළ බරපතළ ගැටලුවක් උද්ගත වනු ඇති බවට රේගු වෘත්තීය සමිති අනතුරු අඟවයි.
තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොදැක්වීම නිසා රේගු වෘත්තීය සමිති ඊයේ (19 දා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියමාර්ගයට එලැබුනු අතර බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසන්නේ බහාලුම් නිදහස් කර ගැනීමේ ප්‍රමාද ගාස්තු අපෙන් අයකර ගන්න එප ඒක රේගුවේ ප්‍රශ්නයක් අපි ඒකට පලි නැහැ. ප්‍රමාද ගාස්තු රේගුවෙන්ම අයකර ගත යුතුයි යන්නයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කෙරෙහි අපක්ෂපාතීව සලකා බලා සාධාරණ තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් රට පුරා භාණ්ඩ හිඟයක් මෙන්ම භාණ්ඩ මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම වැළැක්විය නොහැක.
